අවාරේ සිරිපා 2022

Aricle by: Thushan Chamika

රටේ තිබුනු තත්වය නිසා අවසන් වතාවෙ Nature team එකේ අපිට අවාරෙ සිරිපා යන්න උනේ නෑ. ඉතින් මේ පාර අපි ලැබුනු අභියෝග මධ්‍යයේ කොහොමහරි "අවාරේ සිරිපා" ගමන සංවිධානය කරන්න සමත්වුනා.

අපේ දවස උනේ ඔක්තෝබර් 29. විශ්වවිද්‍යාලෙ ඉඳන් උදෙන්ම ආපු අපු උදේ 9.30 ට විතර රත්නපුර - පලාබද්දල මාර්ගයෙන් ගමන ආරම්භ කලා. ගමන පුරාවට පොඩි මන්දාරමක් අපේ පාර හෙවණ කර නිසාදෝ වැඩි අපහසුවකින් තොරව කරුණාව කරගෙන යන්න පුලුවන් වුනා. වාරෙ පුරාම මිනිස් ක්‍රියාකාරකම් වලින් වෙහෙස වෙලා හිටපු සිරිපා අඩවියෙ ගස්වැල් හා සත්තු තමන්ගෙ පුරුදු ජීවිතයට හැඩගැහිලා ගිමන් හරින අතරෙ ඒ නිසාම පාර දෙපැත්තටම එකතු වෙලා තිබුනෙ ලොකු ලස්සනක්. ටිකක් දවල් වෙනකම් ම අපේ ගමන මේ සුන්දරත්වය එක්ක ඉදිරයටම ඇදුනා. පන ගහගෙන එන පොඩි පැලෑටි , පක්ශීන් , සමනල්ලු වගේම අවාරයේ පිපුනු සුවඳ හමන මල් අපේ ගමන දෙපැත්තම හැඩකලේ අවාරය සුන්දරයි කියල ආයෙ ආයෙත් අපිට මතක් කරමින්. ගමන ආරම්භයෙදිම හමුවුනේ වාරෙදි ගොඩක් කාර්‍යබහුල ඒත් දැන් හිස් වුනු කඩපේළි . අපේ නඩය ටික ටික පවනැල්ල ත් පහු කරගෙන දිගටම පෙනෙන පඩිපේලි දිගේ ලිහිනිහෙලත් පහුකරගෙන ඉහලට ඇදුනා. ලිහිණි අක්කත් එක්ක කතාකරල ඊළඟට හමුවුනු තරමක් අඳුරු ගස්වලින් පිරුණු මාවත දිගේ ගිය අපි ටිකක් උඩදි දවල් ආහාරය ගත්තා. ටික වෙලාවක් ගිමන් හැරල ආයෙත් ගමන පටන් ගත්ත අපි කලු ගඟේ ආරම්භයත් පහුකරන් තවත් උඩට ඇවිත් ධර්මරාජ ගලත් පහුකරගෙන ගියා. වෙනදට රත්නපුරේ පාරෙ යද්දි ශ්‍රී පාදය මුලින්ම පේන්නෙ මෙතන වුනාට අද මීදුමෙන් පිරිල නිසාදෝ අපට පරිවාර කඳු වත් දකින්න ලැබුනේ නෑ. ධර්මරාජ ගල පහුකරගෙන ඉදිකටුපානෙදි අපේ කෝඩුකාරයො ටිකගෙ චාරිත්‍රත් ඉෂ්ට කරගෙන ටිකෙන් ටික සීත ගඟුල , හීන් ගඟුල පහුකරන් පලවෙනි දවසෙ අපේ ගමනාන්තය වුනු හැරමිටිපානට එද්දි මුලු වටපිටාවම මන්දාරමින් වැහිල පොද වැස්සකුත් එක්කයි තිබුනෙ. හීන් ගඟුලට ගිහින් සීතලේම පිරිසිදු වුනු අපි රාත්‍රිය ගතකරන්න අම්බලම සූදානම් කරගත්තා. ඉන්පස්සෙ ආරම්භ වුනු වැස්ස එය අවාරයේ අනිවාර්‍ය අංගයක් කියල අපට ආයෙත් මතක් කලා.

ටිකක් රෑ වෙද්දි ලොකු සීතලක් එක්කම ලොකු මීදුමක් සිරිපා මුදුන වහගෙන හිටිය නිසාත් අවාරේ නිසා කිසිම එලියක් නැති නිසාත් ඈතින් පෙනෙන පොඩි එලිය සිරිපා මලුව කියල යාන්තම් හිතාගන්න අපට පුලුවන් වුනා. අපේ nature team අයියල රෑ කෑම සකස් කරන අතරෙ අනෙක් අයත් ඒ වැඩේට උදව් වුනා. රාත්‍රී ආහාරය ගත් අපි ඉක්මනින් නිදාගත්තෙ උදේ පාන්දර ගොඩක් වැඩ තියන නිසාමයි. උදේ පාන්දර අහස පැහැදිලිවෙලා තිබුනත් හීතලේ නම් අඩුවක් තිබුනේ නෑ. හැමෝම වන්දනාවෙ අන්තිම භාගයට ලෑස්තිවෙනවා. වටේ කිසිම ආලෝකයක් නැති නිසාත් , ලොකු උසක ඉන්න නිසාත් අපට කවදාවත් නොදැකපු තරමෙ තරු රටා ගොඩක් බලාගන්න ත් එදා පුලුවන් වුනා. උදේ 3.30ට සීතලේම ටෝච් එලිවල පිහිටෙන් අපි හැමෝම මලුව පැත්තට ඇදුනේ ඉර දෙවියො සමනල කන්ද වන්දනාමාන කරනවා බලන්නමයි. රත්නපුර පාරෙ අවසාන කොටසෙ ලොකු නැග්මක් තියන පඩිපේලි පහුකරගෙන රෑ කලුවරේම අපේ නඩය ඉදිරියට ඇදෙද්දි ඈතින් පහලින් ලඟම නගරවලින් එන විදුලි එලි අපට පෙනුනෙ පොළොවෙත් අහසෙ වගේම තරු පායල වගේ. ආඬියාමලතැන්නත් පහුකරගෙන මහගිරිදඹය තරණය කල අපි ඇහැල කණුවත් පහුකරගෙන අන්තිමට 5.15 ට වගේ සිරිපා මලුව ට ආවා. ඇඟ සීතල කරගෙන ගලන මීදුම් දහරා අපේ දර්ශනයට බාධා කලේ නැති නිසා ලස්සනට ඈතින් පේන කොළඹ නගරය වගේම වටේම නගරවල එලි අපට දිස්වෙද්දි ක්ෂිතිජය වටේට ලා පාට වේගෙන ආවා. ඒ ලා පාට ටිකෙන් ටික තවත් වැඩිවෙවී කහ පාට වෙලා රතු පාටත් වුනා. ඒ අතරෙ අහස වෙනස් වුනු හැටි මම විස්තර කරන්වට වඩා ගිහින්ම බලන්න වටිනවා. ටික වේලාවකින් හිරු දෙවියො සමන්ගිර කරුණා කරගෙන ඉහලට ඇදුනෙ අපි බලන් හිටපු ඒ මොහොත උදාකරමින්.

ඉර සේවය බලලා උදේ ආහාරයත් අරගෙන අපේ ගමනෙ ප්‍රධාන අරමුණ ඒ කියන්නෙ පිරිසිදු කිරීමේ වැඩසටහන අපි ආරම්භ කලා. හැටන් - නල්ලතන්නිය පාර දිගේ බැහැගෙන යන ගමන් අපි පාර දිගේ තිබුනු කසල එක්‍ රැස් කලා. අවාරෙ වුනත් වාරේ නිසා වුනු බලපෑම් මාස 5 කට පස්සෙත් පාර පුරාම අපිට දකින්න ලැබුනා. අපට ලඟාවෙන්න බැරි තැන්වලත් කසළ එක්‍රැස් වෙලා තිබුනා . එහෙම ඉදිකටුපාන , රතු අම්බලම පහු කරගෙන සීත ගඟුල වෙනකම් ආපු අපි ටිකක් ගිමන් හැරලා , ගඟුලතැන්න පහුකරගෙන ඒ ලස්සන පරිසරයේ චමත්කාරය විඳගෙන මහ වැස්සක ආශිර්වාදයත් එක්ක ගමනේ අවසානයට ලඟාවුනා. නල්ලතන්නියෙ සීතගඟුලෙන් ගිමන් නිවාගෙන අපි එක් රැස් කරපු කැලි කසල අදාල බලධාරීන් වෙත බාරදුන්නු අපි මේ ගමන අවසන් කළේ අලුත් අත්දැකීම් ගොඩක් එක්කම පරිසරයට අපෙන් වෙන්න ඕන යුතුකම් ඉටුකරමින්. දැන් වාරයත් පටන්ගෙන. ඉතින් මේ කැලිකසල වල බලපෑම අපට හිතාගන්නත් බැරිතරම්. සමනල කන්ද ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍රයක් වගේම ලංකාවේ වන වැස්මෙන් විශාල ප්‍රමාණයක් දරා සිටින රක්ෂිතයක්. ඉතින් මේ පරිසර පද්ධතිය විනාශ නොකර පුලුවන් විදියට රැකගැනීම අපේ වගකීමක් වගේම යුතුකමක්