ශ්වේත වර්ණ දැවැන්තයින් මිහිතලයෙන් සදහටම සමුගනීද?
දශක ගණනාවක් තිස්සේ වඳ වී යාමේ දැඩි අවධානමට ලක් වී සිටි සත්ත්ව විශේෂයක් වෙන උතුරු සුදු රයිනෝ (Ceratotherium simum cottoni) පිළිබඳව නොයෙකුත් විස්මිත දේ ඔබ අසා ඇතුවාට නම් සැකයක් නැහැ. දවසින් දවස වැඩි වන දඩයක්කාරයින්ගේ බලපෑම සහ සංරක්ෂණ අණ පණත් වල තිබූ දුර්වලතා මීට බොහෝ සේ හේතු වුණා. විශේෂයෙන්ම, රයිනෝ අං මඟින් රෝග සුව කිරීමේ හැකියාවක් ඇති බවට පවතින අන්ධ විශ්වාසය හේතුවෙන් දඩයක්කරුවන්ගේ අනුකම්පා විරහිත ගොදුරු බවට පත්වීම, මේ දැවැන්තයින්ගේ වඳ වී යාම වේගවත් කල බව නම් රහසක් නොවෙයි. කෙසේ නමුත් අද ලිපියෙන් අප කතාකරන්නේ මිනිසා නිසාම සිදුවූ මේ විනාශයේ හානිපූර්ණය කිරීමට කැපවන තවත් උතුම් මිනිසුන් කණ්ඩායමක විශ්වකර්ම කර්තව්‍යයක් පිළිබඳවයි.
සුන්දර වර්තමානයක් හිමි වුනත්, මේ කතාවේ ආරම්භය නම් සිදුවන්නේ ඉතාම ඛේදජනක ආකාරයකටයි. ඒ, මීට වසර තුනකට පමණ පෙර 2018 වසරේ මාර්තු 19 වන දින කෙන්යාවේ ජීවත් වුණු 'සුඩාන්' නම් වූ මෙලොව ඉතිරි වී සිටි එකම උතුරු සුදු රයිනෝ පිරිමි සත්වයාගේ අවාසනාවන්ත මරණය වාර්තාවීමත් සමඟින්. මේ සුවිශේෂී දැවැන්තයාට අත්වුණු ඉරණම ලොව පුරා වෙසෙන සත්ත්වලෝලීන් හා පරිසරවේදීන් ඇතුලු සමස්ත මානව වර්ගයාම කම්පාවට පත්කරවීමට සමත් වුණා.
ඉතින්, සුඩාන්ගේ සමුගැනීමත් සමඟ මේ වන විට ඉතිරි වී ඉන්නේ උතුරු සුදු රයිනෝ සතුන් දෙදෙනෙක් පමණයි. ඒ මධ්‍යම කෙන්යාවේ ඕල් පෙජෙටා සංරක්ෂණාගාරයේ ජීවත් වෙන සුඩාන්ගේ දියණිය වන 'නජින්' සහ මිණිබිරිය වන 'ෆාටු' යන ගැහැණු සතුන් දෙදෙනා. මේ ඛේදජනක ඉරණම නිසා වසර මිලියන ගණනක් පුරා විහිදුනු පරිණාමීය දාමයක් අවසන් වීමට ඉඩ ඇති බවටත් විද්වතුන් මත පළකර තිබුණා. ඉතින් මෙවැනි තත්වයක් මත මේ ගෙවෙන්නේ මිහිමත උතුරු සුදු රයිනෝ සතුන් සජීවී ව දැකිය හැකි අවසාන වසර කිහිපය වන්නට ද ඉඩ තිබෙනවා.
වාසනාවකට මෙන් වසර ගණනාවක් පුරා සිදුකෙරුණු කටයුතු වල අග්‍රඵලයක් ලෙස දකුණු සුදු රයිනෝ සතුන්ගේ ගහණය වැඩි කරගැනීමට හැකි වී තිබුණා. නමුත් උතුරු සුදු රයිනෝ සත්වයින් එතරම් වාසනාවන්ත නොවීම නම් කණගාටුවට කරුණක්. කොයි මොහොතේ හෝ ඇතිවිය හැකි මේ අවදානම් තත්වය කල් තියා හඳුනාගත් විද්‍යාඥයින් විසින් 'සුඩාන්' මියයාමට පෙර ඔහුගේ ශුක්‍රාණු සාම්පල ලබා ගෙන ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු යෙදවූවා. පර්යේෂණ වල මුල් පියවරේදී එම සාම්පල මඟින් 'නාජින්' හා 'ෆාටු' දෙදෙනාව කෘත්‍රිමව ගැබ් ගැන්වීමට උත්සාහ කලත් එය පුස් වෙඩිල්ලක් පමණක් ම වූයේ සැලසුම් සියල්ල ව්‍යර්ථ කළ නිසයි. නමුත් ඉන් නොනැවතුනු විද්‍යාඥයින් විසින් මේ සාම්පල ෆාටු හා නජින් මඟින් නෙලාගත් ප්‍රජනන සෛල සමඟ කෘතිම ව සංසේචනය කර (In vitro fertilization) නැවත වර්ධනය කිරීමේ විස්මයජනක කර්තව්‍යයක් ආරම්භ කරනු ලැබුවේ නවීන විද්‍යාවේ දියුණුව හා එහි වැදගත්කම මනාව පැහැදිලි කරමින්. ඉතින් මෙලෙස වර්ධනය කරගත් කළල පහක් ඉතාලියේ ලොම්බාර්ඩ් කලාපයේ ක්‍රෙමෝනා හී රසායනාගාරයක දියර නයිට්‍රජන් තුළ ගබඩා කර තිබෙන අතරම මේවා දකුණු සුදු රයිනෝ ගැහැණු සතෙකුගේ ගර්භාෂය තුල තැන්පත් කිරීම ඔවුන්ගේ නවතම උත්සහායයි.
මේ පිම්ම සාර්ථකව ජය ගතහොත් එය මානව සංහතියම ලබන විජයග්‍රහණයක් වන බවට නම් කිසිදු සැකයක් නැහැ. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව නොයෙක් අයහපත් ක්‍රියාකාරකම් වෙනුවෙන් උපයෝගී වන මෙවැනි පසුබිමක නැවතත් උතුරු සුදු රයිනෝ වැනි අද්විතීය සතුන් පුනර්ජීවනය කිරීමෙන් පෘථිවියේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට විද්‍යාඥයින් විසින් මේ දරනා ප්‍රයත්නය සැබවින්ම ප්‍රශංසනීය වන්නේ ඒ නිසාමයි.
උතුරු සුදු රයිනෝ සතුන් ගලවා ගැනීමේ මෙහෙයුමට විද්‍යාත්මක හා පශුවෛද්‍ය විශේෂඥ දැනුම ලැබෙන්නේ BioRescue නම් ව්‍යාපෘතිය තුලින්. ජර්මනියේ ලිබ්නස් සත්වෝද්‍යාන හා වනජීවී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ප්‍රධානී තෝමස් හිල්ඩෙබ්‍රෑන්ඩ් මහතා ඉතාම සතුටුදායක ආරංචියක් සමඟින් පැවසූයේ වසර තුනකින් සිය පළමු උතුරු සුදු රයිනෝ පැටවා හා ඉදිරි දශක දෙක තුල දී පුළුල් ගහනයක් ලබා දීමට ඔවුන් සූදානම් ව සිටින බවයි . දඩයක්කරුවන්ගෙන් සතුන්ව ආරක්ෂා කරගැනීමට පැය 24ම ආරක්ෂාව ලබාදෙන සන්නද්ධ ආරක්ෂක භටයන්ගෙන් සමන්විත Hemmersbach Rhino Force බලකාය ඇතුළු තවත් සංවිධාන රැසක් මේ අද්විතීය ප්‍ර්‍රයත්නය උදෙසා තම සහය හා ආධාර ලබාදෙන්නේ උතුරු සුදු රයිනෝ සතුන් මිහිතලය මත අවසන් සුසුම් හෙලූ තවත් එක් සත්ත්ව කොට්ටාසයක් නොවනු උදෙසාමයි.
කෙසේ වූවත්, අනාගතය අවිනිශ්චිත වන අතරම මේ ප්‍රයත්නය කාලයට එරෙහිව යන්නා වූ තරඟයක් ලෙස හැඳින්වූවාට කම් නැහැ. ඉතින්, අවුරුදු මිලියන 7කට ආසන්න කාලයක සිටම පැවත එන මේ උතුරු සුදු රයිනෝ සත්ත්වයන් අනාගතයටත් උරුම කරදීමට දරනා වෑයම සඵල වනතුරු ලොව පුරා වෙසෙන සත්ත්වවේදීන් හා පරිසරලෝලීන් ඇතුලු සියලු දෙනා ම බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටිනු ඇති.
Special Thanks: Suneth Kanishka
තොරතුරු ,
Scientists produce embryos in race to save northern white rhino from extinction
http://www.biorescue.org/
Northern white rhino