සොඳුරු වනදහනේ නිහඬ දඩයක්කාරයා - 02

Aricle by: Kavishka Wijesooriya and Design by: Gihan Viraj 27 December, 2019
Picture Courtesy :Dimuthu Asiri Jayawardhana

බිළාල පවුල සහ වර්තමානය වනවිට ඔවුන්ගේ ඇති වැදගත්කම පිළිබඳ අපි පසුගිය ලිපියෙන් අපි සාකච්ඡා කළෙමු. අද එතැන් සිට තවත් රසබර තොරතුරු රැසක් බෙදාහදා ගන්නටයි මේ සූදානම..

කොටියාගේ කායික ස්වරූපය සහ ගති ලක්ෂණ

කොටියාගේ විශාලත්වය හිසේ සිට උරහිස දක්වා දිගින් 105-142 cm ක්ද වලිගය දිගින් 77-86 cm අතරද වනු ලබයි. මොවුන්ගේ මාංශ පේශි සුවිශේෂී ලෙස ශක්තිමත් වන අතර එමඟින් ඔවුන්ගේ ගස් නැගීමට ඇති හැකියාව වැඩි කරයි. පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා අවම වශයෙන් 30%ක ප්‍රමාණයක් විශාල වන අතර පරිණත පිරිමින් විශාල හා පුළුල් හිස් ඇත. ගැහැණු සතුන් 33kg ද පිරිමි සතුන් 77 kg පමණ බරකින්ද යුක්ත වෙයි. කොටියාගේ වර්ණ ගැන්වීම පිදුරු සිට දීප්තිමත් රන්වන් දුඹුරු දක්වා වෙනස් වන අතර කළු පැල්ලම් වලින්ද යුක්ත වේ. ඔවුන්ගේ තියුණු ඇස්, දැඩි මුවහතක් සහිත නිය හා ශක්තිමත් පාද ගොදුර පසුපස හඹාගොස් එය ඩැහැගැනීමට මනා ලෙස අනුවර්තනය වී ඇත. නිහඬව තම ගොදුර පසුපස හඹා යමින් වේගයෙන් ගොදුරට පහර දීමෙන් දඩයම් කරන ඔවුන් රාත්‍රී කාලයේ දඩයම් කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර උදේ හා සවස් කාලයේද ක්‍රියාකාරී වේ. ශ්‍රි ලාංකික කොටියාගේ ආයු කාලය අවුරුදු 12 සිට 15 දක්වා වේ යැයි සැලකේ.

පැටවුන් සාමාන්‍යයෙන් දෙදෙනෙකු හා සතර දෙනෙකු බැඟින් මෙලොවට බිහිවන ඔවුන්ගේ උපත් මාස ගණනාවක් පුරා විසිරී ඇත. දිවයින පුරා ව්‍යාප්තව ඇති යාල හා විල්පත්තු ජාතික වනෝද්‍යාන වැනි ආරක්ෂිත ප්‍රදේශවල සහ කඳුකරයේ හුදකලා වනාන්තර සහ තේ වතු ආශ්‍රිත ප්‍රදේශවල බහුලව දැකිය හැකි මොවුන් දිවයිනේ වියළි කලාපයේද ගැවසේ. සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගන්නා කොටියන් මෙරටට විදේශ විනිමය ගලා එන උපතක් බඳු ය. යාල, විල්පත්තු වැනි වනෝද්‍යානයන්හී කොටියන් කැමරා කාචයට හසු කරගැනීම සදහා විදේශිකයෝ උත්සුක වෙති.

කොටියන් වඳවී යාමට හේතු, නීතිමය පසුබිම හා සංරක්ෂණය

වාසස්ථාන අහිමිවීම හා ඛණ්ඩනය වීම, වෙළඳාම සඳහා දඩයම් කිරීම, ගොදුරු ක්ෂය වීම, මිනිසා සමඟ ගැටුම් සහ පළිබෝධ පාලනය ආදී නොයෙක් හේතූන් මත ශ්‍රී ලාංකික කොටියන් වේගයෙන් වද වී යාමේ තර්ජනයට ලක් වී ඇත. මොවුන්ගේ සම්,දත් හා නිය ශ්‍රී ලංකාවේ බහුලව වෙළඳාම් කරන අතර ඉහළ විදේශීය ඉල්ලුමක්ද පවතී. ඇතැම් මිථ්‍යා විශ්වාස හේතුවෙන් සමහර ගම්වාසීන් විසින් කොටියන්ගේ ඇතැම් ශරීර කොටස් පැළඳ සිටින අතර එමගින් වාසනාව උදාවන බවට ඔවුහු විශ්වාස කරති. එලෙසම සමහර කොටස් ආහාරයට ගැනීම හා සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට යොදා ගැනීමද, මෙම සම්පත ශ්‍රී ලංකාවෙන් තුරන් වී යාමට හේතු වෙමින් පවතී. එසේම මේ දිනවල සිදු කෙරෙමින් පවතින අනවසර කැළෑ කැපීම හා වන විනාශය හේතුවෙන් ඔවුන්ගෙ වාසභූමි හා දඩබිම් විනාශවීම සිදුවේ. අප රටටම ආවේණික වූ ශ්‍රී ලාංකික කොටියන් වඳ වී යාම මේ මඟින් ඉක්මන් වීම සිදුවේ.

2009 දී සත්ත්ව හා ශාක ආරක්ෂණ පනතේ අවසන් සංශෝධනය මඟින් මෙරට කොටි විශේෂ, අලුතින් පිහිටුවන ලද “දැඩි ලෙස ආරක්‍ෂිත විශේෂ” ගණයට ඇතුළත් විය. කොටියෙකු ප්‍රධාන වශයෙන්, තුවාල කිරීම, හානි කිරීම හෝ ඝාතනය කිරීම හෝ සජීවී සතෙකු, මළ සිරුරක් හෝ ශරීරයේ ඕනෑම කොටසක් ළඟ තබා ගැනීම වරදක් වන අතර මළ සිරුරක් විකිණීම හෝ නිරාවරණය කිරීම හෝ යම් කොටසක් හෝ සජීවී සතුන් වෙළඳාම් කිරීම ද වරදකි. ශ්‍රී ලංකාවේ කොටියන් ආරක්ෂා කිරීම සඳහා තරමක් ශක්තිමත් නීතිමය රාමුවක් පවතින බව පෙනුනද ඒවා ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු පවතී. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අනෙකුත් වගකිවයුතු ආයතන මෙම වටිනා සත්ත්ව සම්පත සුරැකීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුවේ.

මොවුන් වෙසෙන වනාන්තර ආරක්ෂා කිරීම, කැළෑ ආශ්‍රිතව මදු වැනි සත්ව උගුල් නොයෙදීම, ඔවුන්ගේ වාසභූමි සුරක්ෂිත කිරීම හා වන සතුන් දඩයම වැළැක්වීම සදහා අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කිරීම මගින් මෙම සම්පත අපට ආරක්ෂා කරගත හැකිය. අප සතු මෙම සොබාදහමෙන් ලැබුණු මහාර්ඝ දායාදය රැකගැනීම හා එම උරුමය ඉදිරි පරම්පරාවන්ට දායාද කිරීම අප සතු අනිවාර්ය වගකීමක් වේ.

Special Thanks: Suneth Kanishka

තොරතුරු ,
What is needed to keep Sri Lanka’s leopards roaming free? (Commentary)
Sri Lankan Leopard